Thursday, June 17, 2010

එලිවේටරය හා ලිෆ්ට් එක...

ඇමෙරිකානුවෙක් එංගලන්තයට ගොස් හෝටල් කාමරයක් වෙන්කරවා ගත්තේය.

ඇමෙරිකානුවා - කොහෙද එලිවේටරය තියෙන්නේ? (ඇමෙරිකාවේ විදුලි සෝපානය හඳුන්වන්නේ ‘එලිවේටර්’ යනුවෙනි)

කළමනාකරු - එලිවේටර්..? එහෙම එකක් මෙහේ නෑනේ.

ඇමෙරිකානුවා - මොනවා..? එතකොට මම කොහොමද 11 වැනි තට්ටුවට නඟින්නේ?

කළමනාකරු - ආ.. අර තියෙන්නේ ලිෆ්ට් එක. ඒකෙන් උඩට නඟින්න.

ඇමෙරිකානුවා - ඒකට කියන්නේ ලිෆ්ට් නෙවෙයි එලිවේටර්.

කළමනාකරු - නෑ.. නෑ.. ඒකට කියන්නේ ලිෆ්ට් එක කියලයි.

මේ සම්බන්ධයෙන් හෝටල් කළමනාකරු සහ ඇමෙරිකන් ජාතිකයා අතර උණුසුම් වාදයක් හට ගත්තේය. අවසානයේදී තදින් කෝප වී සිටි ඇමෙරිකානුවා මෙසේ කීය.

ඇමෙරිකානුවා - හුහ්.. තමුසේ දැනගන්නවා ඔය එලිවේටරය නිර්මාණය කළේත් අපියි. ඒ නිසා ඒකට කියන්නේ එලිවේටර් එක කියලයි.

කළමනාකරු - වෙන්න ඇති.. ඔය ඕන බඩකඩුත්තුවක් හදන්න කාටද බැරි? නමුත් මතක තියාගන්නවා ඉංග්‍රීසි භාෂාව හැදුවේ අපියි. ඒ නිසා ඒකට කියන්නේ ලිෆ්ට් එක කියලයි.

කවුද පිට හීරුවේ...

"මොකද ඔයා ඊයෙ රෑ හීනෙන් මගෙ පිට හීරුවෙ?" රංජනී කට බෙරි කරගෙන, පියදාසගෙන් ඇහැව්වේ පිට අත ගාමින්.

"මොන පිටක් ද? මම හවස ගත්ත සංවර්ධන ලොතරැයි පහක් නෙ ඒ හීරුවේ. පහේම කිසිම දිනුමක් තිබුණෙ නැහැ." පියදාස පිළිතුරු දුන්නේ කේන්තියෙනි.

ඒ සැරේ තාත්තා...

"සර් මෙච්චර වයසට ගිහිල්ලත් කසාදයක් බැන්දේ නැත්තෙ මොකද?" චතුරංග දවසක් දා තම අංශ ප්‍රධානියා වූ අමරසේකර මහතාගෙන් ඇසුවේ හන්දියෙන් ගෙනා බත් පාර්සලය ඔහුට භාර දෙමිනි.

"මම බඳින්ඩ හිටිය හැම කෙල්ලටම අපෙ අම්මා විරුද්ධ වුණා බං." අමරසේකර කීවේ සිනාසෙමිනි.

"ඉතින් අම්මා වගෙ කෙනෙක්ව තෝරා ගත්තා නං ඉවරනෙ." චතුරංග පැවසුවේ මේසය මත වතුර වීදුරුවක් තබමිනි.

"ඒකත් මං කළා බං. ඒ සැරේ ඒ කෙල්ල බඳිනවට අපේ තාත්තා තදින්ම විරුද්ධ වුණා."

අමරසේකර කීවේ මදක් ඉස්සී තිබූ තම බොරු කොණ්ඩය දෑතින්ම සකස් කරමිනි.

Wednesday, June 16, 2010

හීනෙන් දුන්න රුපියල් දාහ...

වසන්තා උදේ නැගිටින කොට සාජන් මහත්තයා වැඩට යන්න යුනිෆෝම් එක ඇද ගෙනත් ඉවරයි. වසන්තා, සාජන් මහත්තයා ළඟට කිට්ටු කරලා කාකි කබායේ නැමී තිබුණු කොලර් එක හදන ගමන් මෙහෙම කිව්වා.

"ඊයේ රෑ ඔයා මට හීනෙන් රුපියල් දාහක් දුන්නා. ඒකෙන් මං ලබපු සන්තෝසෙ ඔයා නැති කරන්නෙ නෑ නේද වස්තුවේ."

"පිස්සුද නෝනෙ, ඔයා ඒ රුපියල් දාහෙන් ඔයාට ඕනෙ එකක් ගන්ඩ." සාජන් මහත්තයා එහෙම කියල තොප්පියත් දාගෙන මාරු වුණා.

පරණම පිස්සා...

තරමක් දුරට සුව වී ඇති රෝගීන් කණ්ඩායමක් තෝරාගෙන, ඔවුන් වෙත රෝහලේ ඇතැම් සරල ක්‍රියාකාරකම් පැවරීමට අංගොඩ මානසික රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා අදහස් කළේ, එය ඔවුන් ඉක්මනින් සුවපත් කිරීමට ආධාරකයක් කර ගැනීමේ අරමුණිනි.

එවැනි කණ්ඩායමක් තෝරාගත් වෛද්‍යවරයා ඒ කණ්ඩායමට අයත් වූ පැරණිතම රෝගියා දෙස බලා මෙසේ කීය.

"ගුණපාල තමුසෙ තමයි මේ පිස්සන් කොටුවේ වැඩිම කාලයක් හිටපු ලෙඩා."

ගුණපාල වෛද්‍යවරයා දෙස බැලුවේ ඔහුගේ කීම නොපිළිගන්නා බව අඟවමිනි.

"මම වෙන්නෙ කොහොමද? මම එනකොටත් සර් මෙහෙ හිටියනෙ." හේ කීවේය.

පිට අනතුරු...

අජිත් සේවය කළේ පිඟන් භාණ්ඩ නිපදවන කම්හලක ය. ඔහු දිනක් උදෑසන තම කම්හලේ ප්‍රධානියා හමු වී මෙසේ කීය.

“සර් මං ගිය සුමානෙ කසාද බැන්දා. මගේ පඩියෙන් දෙන්නෙකුට ජීවත් වෙන්න අමාරුයි සර්. මගෙ පඩිය ටිකක් වැඩි කරල දෙන්න බැරිද?”

“බොහොම කනගාටුයි. වැඩ පොළෙන් පිට දී වෙන අනතුරු ගැන අපිට වග කියන්ඩ බැහැ.” ප්‍රධානියා පිළිතුරු දුන්නේ ය.