Monday, July 5, 2010

කිරි වෙළෙන්දා...

අප්‍රකට, අපූරු දිය ඇල්ලක් පිළිබඳව හදිසියේ කියවන්නට ලැබුණු කවියෙක් එය දැකීමේ ආශාවෙන් වංහුං අසමින් දිය ඇල්ල පිහිටි පෙදෙසට ළඟා විය. හේ සාහිත්‍යයට ඉමහත් ළැදියාවක් දැක්වූ අයෙකි.

පටු පාරක් ඔස්සේ දියඇල්ලේ හඬට ඉව අල්ලමින් පැමිණි හේ වංගුවකින් හැරුණු වහාම ඇසට හසුවූ සුදෝ සුදු පෙණපිඩු නංවමින් ඇද හැලෙන දිය ඇල්ල දැක වශීකෘතව හුන් තැනම නැවතී ඉතා ආශාවෙන් එදෙස බලා සිටින්නට විය.

දිය ඇල්ල පාමුල සිට තමා මෙන් ම ඒ දෙස බලා සිටින අයකු දුටු හෙතෙම සතුටින් ඔහු වෙත පිය නඟමින් මෙසේ විමසුවේ ය.

"නිසංසලේ සුන්දරව ගලා බසිනා මේ දියඇල්ල දෙස ඇසිපිය නොහෙළා බලා සිටින ඔබ කුමන කලාකරුවෙක් ද?"

"මම කිරි වෙළෙන්දෙක්" යනුවෙන් පිළිතුරු දුන් හෙතෙම බෝතල් මල්ල ද එල්ලාගෙන නොපෙනී ගියේ ය.

චිත්‍රපටය...

එය එක්තරා චිත්‍රපටයක ජවනිකාවක් රූගත කෙරෙන අවස්ථාවකි. එහි ප්‍රධාන චරිතය රඟපෑ නළුවා තරුණ නිළියන් අමාරුවේ දැමීම පිළිබඳ ප්‍රචලිත අයෙක් විය.

චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ප්‍රධාන නිළිය සහ නළුවා හට රූගත කිරීමට නියමිත අවස්ථාව පහදා දෙමින් සිටියේ ය.

"දැන් තියෙන්නේ ඔයාව ගඟේ ගහගෙන යන සීන් එකක්. ඔයා ගහගෙන යද්දී මෙයා ගඟට පැනලා ඔයාව බේරගන්නවා. ඉතින් ඊට පස්සේ…"

"ඔව් ඊට පස්සේ මාව මෙයාගෙන් බේරගන්නේ කවුද?" නිළිය වහා ඇසුවා ය.