Friday, June 18, 2010

මොළේ චීස්...

හොලිවුඩ් ගිනි සිළුව; මැරිලින් මොන්රෝ කාලයක් ආතර් මිලර් සමඟ පෙමින් වෙළී සිටියාය. ආතර් මිලර් අති දක්ෂ තිරකතා
රචකයෙකි. ඔහු දිනෙක් මිතුරකු සමඟ කතාබහක යෙදී සිටියේය.

මිතුරා - ආතර් කොහොමද මැරිලීන්?

ආතර් - එකකට එකක් වෙනස්

මිතුරා - ඒ කිව්වේ?

ආතර් - එයා ගේ පපුව ගල් වගේ ඒත් මොළේ නම් චීස්.

රූපයයි - බුද්ධියයි...

ප්‍රංසයේ සුප්‍රකට නළඟනක් දිනෙක ජින් පෝල් සාත්‍රේ නම් දාර්ශනිකයා හමුවීමට ගියා ය.

නළඟන - ආචාර්යතුමනි, ඔබ බුද්ධිමත් ද?

සාතේ‍්‍ර - මං හිතන්නේ ඔව්.

නළඟන - ඔබ හිතනවද මම රූමත් කියලා?

සාත්‍රේ - අපොයි ඔව් ඔබ හරිම රූමත්.

නළඟන - බලන්න, අපි දෙන්නා කසාද බැන්දොත්... මගේ රූපයයි ඔබතුමාගේ බුද්ධියයි එකතු වෙලා ලෝකේ ලස්සනම හා
බුද්ධිමත්ම දරුවා ඉපදෙනවා.

සාත්‍රේ - අදහස් නරකම නෑ. නමුත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා.

නළඟන - මොන ප්‍රශ්නයක් ද?

සාතේ‍්‍ර - වැරදිලාවත් ඒ දරුවට මගේ රූපයයි ඔයාගේ බුද්ධියයි ගියොත් මොකද වෙන්නේ???

හොරු දෙන්නා...

ඉතා ධනවත් මහලු පුද්ගලයෙක් රෝගාතුර වී ඇඳට වැටුණේය. ඔහු තවත් ජීවත් වන්නේ පැය කිහිපයක් බැව් වෛද්‍යවරුන් ගේ නිගමනය විය. හෙතෙම වහාම තම පෞද්ගලික වෛද්‍යවරයා සහ නීතිඥවරයා කාමරයට කැඳවා ගත්තේය.
මහලු පුද්ගලයා ගේ කීම මත වෛද්‍යවරයා සහ නීතිඥවරයා ඔහු මැදි කොට ඇඳේ දෙපස වාඩි වූහ.

නීතිඥයා - ඇයි මට එන්න කිව්වේ?

මහලු පුද්ගලයා - ඔහොම ටිකක් මගේ පැත්තකින් වාඩිවෙලා ඉන්නකෝ.

වෛද්‍යවරයා - එතකොට මට එන්න කිව්වේ ඇයි?

මහලු පුද්ගලයා - ඔයත් ඔහොම මගේ පැත්තකින් වාඩි වෙලා ඉන්නකෝ.

මෙසේ පැයක් පමණ කාලය ගතවිය. මහලු පුද්ගලයාගේ මුහුණ, අත, පය සුදුමැලි වෙමින් ඔහු මිය යෑමට ආසන්න බව
පෙන්නුම් කෙළේය.

වෛද්‍යවරයා සහ නීතිඥයා යළිත් කලබල වී මහලු පුද්ගලයාට කතා කළහ.

”ඇයි අපිට එන්න කිව්වේ..? ඉක්මනට කාරණය කියන්න” යැයි ඔවුහු කීවෝය.

මහලු පුද්ගලයා - මටත් ඕනේ ජේසුතුමා වගේම ස්වර්ගයට යන්න.

නීතිඥයා සහ වෛද්‍යවරයා - ඉතිං අපි මොනවද කරන්න ඕනේ?

මහලු පුද්ගලයා - ඔය දෙන්නා ඔහොමම දෙපැත්තේ වාඩිවෙලා ඉන්න. මොකද ජේසුතුමා මැරෙන වෙලාවේත් දෙපැත්තෙන් හිටියේ
හොරු දෙන්නෙක් නේ.

නත්තල් බෑනා...

නත්තල් සමයේදී සුපිරි සාප්පුවල නත්තල් සීයා දකින්නට ලැබෙයි. සාමාන්‍යයෙන් නත්තල් සීයා සිටින ස්ථානයට රොක් වන්නේ කුඩා ළමයින්ය. වැඩිහිටියන් නත්තල් සීයාගෙන් තෑගි බලාපොරොත්තු වන්නේ නැත. එහෙත් 35 හැවිරිදි එමිලි නම් කාන්තාව සාප්පුවකට ගොස් කෙළින්ම නත්තල් සීයා ළඟට ගියාය. වැඩිහිටි කාන්තාවක් තමා වෙතට තෑගි බලාපොරොත්තුවෙන් පැමිණ සිටිනු දැකීමෙන් නත්තල් සීයා ද පුදුමයට පත්විණ.

නත්තල් සීයා - ඔබටත් නත්තලට මගෙන් යමක් වුවමනාද?

කාන්තාව - අනේ මට නෙවෙයි. මගේ අම්මටයි ඕන කරන්නේ.

නත්තල් සීයා - ඔබ අම්මාට බොහෝම ආදරය කරන කාන්තාවක් බව පෙනෙනවා.

කාන්තාව - ඔව් අම්මට ඉන්න එකම ළමයා මං විතරයි.

නත්තල් සීයා - එහෙමද? ඉතිං මොන වගේ දෙයක් ද ඔබේ අම්මට මගෙන් වුවමනා වෙලා තියෙන්නේ?

කාන්තාව - ඔව් එයාට ඕන කරලා තියෙනවා ඔයා වගේ හොඳ බෑනා කෙනෙක්.