Saturday, January 15, 2011

උපදේශයට පන්සීයයි!

හොරු දෙදෙනෙක්‌ එක්‌තරා පාළු ස්‌ථානයකට වී කතා බස්‌ කරමින් සිටියහ.

"ඊයේ වැඩෙන් නම් මට පාඩු වුණා.." එක්‌ හොරෙක්‌ අනෙකාට පැවැසීය.

"ඒ කොහොමද?"

"මම ඊයෙ පැන්නෙ නීතිඥවරයෙකුගෙ ගෙදරට. මම මිනිහගෙ අතටම අහුවුණා."

"ඊට පස්‌සෙ මොකද වුණේ?"

"මොකුත් වුණේ නැහැ. එයා මට තදින් අවවාද කළා නීතිඥවරුන්ගෙ ගෙවල්වලට මීට පස්‌සෙ පනින්න එපා කියලා."

"ඉතින් වෙච්ච පාඩුව මොකක්‌ද?"

"ඒ දුන්නු අවවාදයට කියල රුපියල් පන්සීයක්‌ මගෙන් අය කළා."
ඔහු දුක්‌මුසු ස්‌වරූපයෙන් එසේ පැවසීය.

ඔව් සර්..

පුරා සතියක් කිසිම දැනුම් දීමකින් තොරව සේවයට නොපැමිණි සුගත් ඊළඟ සතියේ සඳුදා රාජකාරියට වාර්තා කළ වහාම නියෝජ්‍ය කොමසාරිස් කරුණාරත්න මහතා ඔහු තමා වෙත කැඳවා මෙසේ ඇසීය.
“තමුසෙ දන්නවද තමුසෙ මෙතන සුළු සේවකයෙක් කියල?”

“ඔව් සර්..” සුගත් යටහත් පහත්ව පිළිතුරු දුන්නේය.

“එතකොට තමුසෙ දන්නවද මම මෙතන ප්‍රධානියෙක් කියල?”

“ඔව් සර්..” එවර සුගත් දෙකට නැමී කීවේය.

“තමුසෙ හිතාගෙන ඉන්නෙ මං බූරුවෙක් කියලද” කරුණාරත්න මහතා එවර ඇසුවේ තරමක ආවේගයකිනි.

“ඔව් සර්..” සුගත් බයාදු ලෙස සිනාවී පිළිතුරු දුන්නේය.

කතාකරන්නෙ කොහොමද?

“අනේ මහත්තයො අර විසිතුනේ ඇදේ ලෙඩාට දැන් කොහොමද?” පපුවේ අමාරුවක් සෑදී ඊට පෙර දින හතරේ වාට්ටුවට ඇතුළු කළ තම සැමියා බැලීමට පැමිණි කුසුම් විවේක කාමරයේ අසුන් ගෙන සිටි වෛද්‍යවරයා වෙත ගොස් ඔහුගේ මුහුණට
එබෙමින් ඇසුවාය.

“ආ.. එයාට දැන් හුඟක් සනීපයි. ඒත් ඒ ලෙඩා කිසිම කතාබහක් නැහැ. ඒ ගැනයි අපි දැන් පරීක්ෂා කරගෙන යන්නෙ.” දොස්තර මහතා කාරුණිකව පිළිතුරු දුන්නේය.

“කතා කරන්නෙ කොහොමද මහත්තයො. අපේ මනුස්සයා උප්පත්තියෙන්ම ගොළුවෙක් නොවැ” කුසුම් කීවේ දත් තිස්දෙකම පෙන්නා සිනාසෙමිනි.

බලන් ඉන්ඩ බෑ...

“මට ඔය අසාධාරණ, අසමජ්ජාති වැඩ පේන්ඩ බෑ.” චන්ද්‍රසේන කීවේ තම සගයින් සමඟ කාර්යාලයේදී දිවා ආහාරය ගනිමින් සිටියදීය.

“දවසක් දා මං බස් එකේ යද්දි හදිස්සියෙම දැක්කා ගැටකපන්නෙක් බස් එකේ යන කෙනෙකුගෙ පොකට් එකට විදිනවා. මට ඒක බලන් ඉන්ඩ බැරුව ගියා..” ඔහු බලවත් ආවේගයකින් කීවේය.

“උඹ ඉතින් මොනවද කළේ?” වීරකෝන් ඇසුවේ ආහාර අනුභවය මඳකට නවතමිනි.

“ඉතින් මං අහක බලා ගත්තා” බත් කටක් අනුභව කරමින් චන්ද්‍රසේන කීවේය.

හේතුව මේකයි...

නැවේ තමාට නියමිත රාජකාරියෙන් පසු ලද විරාමයකදී නැව් තට්ටුවට වී ලිපියක් කියවමින් සිටි අජිත් වෙත පැමිණි වීරකෝන් දෙස බලා අජිත් සතුටින් මෙසේ කීවේය.

“මේ ලියුම ගෙදරින්. මගේ වයිෆ් කියල එවලා තියෙනවා එයාට පුතෙක් ලැබුණයි කියල.”

“ඒ වුණාට අන්තිමට උඹ ගෙදර ගිහින් දැන් අවුරුද්දකට වැඩියිනෙ.” මඳක් කල්පනා කළ වීරකෝනේ කීවේ කපටි සිනාවක් පාමිනි.

“ඒක ඇත්ත. එයා කියල තියෙනවා එයාට දරුවෙක් ලැබෙන්න යන බව මාස තුනක්ම එයා දැනගෙන හිටියේ නෑ කියල. එතකොට කාලෙ හරිනෙ.” අජිත් පිළිතුරු දුන්නේය.

තවම අමාරුද???

“පහුගිය සුමානෙ උඹගෙ මාමණ්ඩියට හදිසියේ පපුවේ අමාරුවක් හැදිලා ඉස්පිරිතාලෙ නැවැත්තුවා කියල කිව්වා නේද? තවම ලෙඩාට අමාරු ද?” දිවා ආහාර විවේකයේදී කෑම ගනිමින් සිටියදී මංජුල සුගත් ගෙන් ඇසීය.

“දැන් නං අමාරුවක් නැතුව ඇති. පෙරේදානෙ භූමිදානය තිබුණෙ” සුගත් කීවේ වතුර වීදුරුව අතට ගනිමිනි.