Wednesday, March 7, 2012

ලොතරැයි දිණුම...

පලමු හෘදයාභාදයට ලක්ව වෛද්‍ය ප්‍රතිකාර මත පසුවන සිය හැත්තෑහැවිරිදි පියා විසින් මිලදිගනු ලබූ ලොතරැයිපතකට එහි පලමු දිණුම ලෙස රුපියල් කෝටි 4කට අධික මුදලක් ඇදීතිබීමේ ප්‍රිතිදායක පුවත ඔහුට සැලකරසිටීමේ අවධානම පිලිඹදව සාකච්ඡා කල දූදරු පිරිස, අවසානයේදී අදාල කටයුත්ත පල්ලියෙහි පූජකතුමන්ට පැවරීමට තීරණය කලා. ඒ අනුව පූජකතුමන් හමුවූ දූදරු පිරිස තත්වයෙහි බැරෑරුම්කම පැහැදිලි කරමින් මෙම කාරණය සිය පියාණන්තුල දැඩි ආවේග ඇති නොවන අයුරින් ඉතා ප්‍රවේශම් සහගතව සිදුකිරීමේ වගකීම භාරකලා.

ඒ අනුව දිනක් රෝගී පියාව බැලීමට පැමිණි පූජකතුමා මඳ වේලාවක් ආගිය තොරතුරු විමසීමෙන් අනතුරුව වැඩේට මුලපුරන්න හිතාගෙන මෙන්න මෙහෙම ඇහැව්වා,

"ඈ මහත්තයා....., දැන් හිතමු හදිසියේවත් දෙවියන් වහන්සේගේ කරුණාවෙන් මහත්තයාට කෝටි 4 ක විතර ලොතරැයි දිණුමක් ඇදුනයි කියලා.... එහෙම උනොත් මහත්තයා මොකද කරන්නේ"

"අය්යො ෆාදර්, මම මගේ දරුවන්ට උපරිමයට යුතුකම් ඉෂ්ඨ කරලා තියෙන්නේ. දෙවියන් වහන්සේට කෘතගුණ දක්වනවා හැරෙන්නට මේ නහින දෙහින කාලේ, මට එහෙම මුදලකින් කරන්න ලොකුදෙයක් නැහැ. ඔන්න මම අද කිව්වයි කියලා හිතාගන්න, එහෙම මුදලක් ලැබුනොත්... මම ඒකෙන් හරියටම භාගයක් ඔබතුමන්ට පූජා කරනවා කැමති දෙයක් කරගන්න කියල‍ා"

යමක් බිම වැටෙන හඩ ඇසී මහත්වූ කලබලයෙන් සිය පියාණන්ගේ කාමරය‍ට දිව ආ දූදරුවන්ට දැකගත හැකිවූයේ හදිසි හෘදයාභාදයකට ලක්ව මියගොස් සිටි පූජකතුමන්ය.

කථාව එව්වේ: විරාජ් මලයා

Friday, March 2, 2012

සීයාට වැඩපෙන්නීම...

ඔන්න දවසක් අළුතින් මවුන්ටන් බයිසිකලයක් තෑගි ලැබුන වයස අවුරුදු 10 ක විතර පිරිමි ලමයෙකුට තමන්ගේ හපන්කම් තම සීයාට පෙන්වන්න උවමනා වුණා. නිවසේ ඉදිරිපස කොටසේ හාන්සි පුටුවක විටක් හපමින් පොඩි කල්පනාවක් දමාගෙන හිටපු සීයාටත් දැන් මල කරදරේ මුගේ බයිසිකල් සංදර්ශනය බලන්නය කියලා.

මෙම නිවස මහා මාර්ගය අද්දරටම වන්නට පිහිටලා තිබුණ නිසාත්, ඉදිරියෙන් වූ මහා මාර්ගය පොඩි පල්ලමක් සහිත එකක් වුන නිසාත් කොළුවාට මේ වැඩේට බොහෝම පංකාදු ස්ථානයක් වුණා. මොකද කන්ද උඩට තරමක මහන්සියෙන් බයිසිකලය පැදගෙන යායුතු වුනත්, පහලට බොහොම පහසුවෙන් සහ වේගයෙන් එය පදවාගෙන යා හැකිවූ නිසයි.

දැන් ඔන්න කොළුවා තමන්ගේ හැකියාවන් පෙන්නනවා. පලමු වටයේදී කොළුවා ඉහල සිට පහලට වේගයෙන් පැදගෙන ගියේ සිය දෙපා, බයිසිකලයේ පැඩල වලින් ඉවත් කොට "සීයේ.... මේ... කකුල් නැහැ.." යනුවෙන් මොරදෙමිනි.

දෙවෙනි වටයේදී කොළුවා ඉහල සිට පහලට වේගයෙන් පැදගියේ සිය දෑත්, බයිසිකලයේ හැඩලයෙන් ඉවත් කොට "සීයේ.. සීයේ... මේ... අත් නැහැ.." ලෙසින් හඩදෙමින් සීයාගේ වැඩි අවධානයක් දිනාගනිමිනුයි.

ප්‍රේක්ෂක ප්‍රතිචාර හමුවෙහි උද්දාමයට පත්වෙච්ච අපේ කථානායකයා තුන්වෙනි වටය පැදගියේ සිය දෑත්, දෙපා සියල්ල හැඩල් සහ පැටල් වලින් ඉවත් කොට "සීයේ. සීයේ.. සීයේ... මේ... අත්, කකුල් එකක් වත් නැහැ.." යනුවෙන් හඩතලමිනි.

සංදර්ශණයෙන් විශ්මයට පත්වෙච්ච බවක් පෙන්නපු සීයා, මුණුබුරාගේ මීලඟ වටය නැරඹීමේ රිස්සේන් මාර්ගය දිහාවට ඇස් දල්වාගෙන බලාගෙන උන්නත් විනාඩි ගනනාවකට පස්සේ සීයාට දකින්නට ලැබුනේ බෙරිවූ මුහුණකින් යුක්තව බයිසිකලය තල්ලුකරන් තමන්වෙත එන මුණුබුරායි. විමතියට පත්වෙච්ච සීයා තම කටහඩ අවධිකලා.

"මොකො කොළුවෝ උනේ ? "

"අය්යෝ සීයේ....." හොටු පෙරමින් කොළුවා තතැනුවා.

"ඇයි...ඇයි මොකක්ද උනේ කියාපිය.?"

"දත් නැහැ" ඌ සිය ඉදිරි දත් පෙල පෙන්නා සිටියා.


කථාව එව්වේ: විරාජ් මලයා