Wednesday, August 18, 2010

බෝම්බය

එක් සවස් වරුවෙක මැදිවියේ ගැහැනියක් තමන් දන්නා හඳුනන නිවෙසකට පැමිණෙමින් සිටියා ය. නිවසේ දොරකඩ එහි නිවැසි දරුවෙක් සෙල්ලම් කරමින් සිටියේ ය. එම කාන්තාව නිවසට ළඟා වත්ම ඇය දෙස කුහුලින් බැලූ දරුවා ඇගෙන් මෙසේ විමසීය.

"ඇන්ටි, ඔයා ළඟ පුපුරණ ජාති මොනවා හරි තියෙනවද?"

"නෑ. ඇයි පුතා එහෙම ඇහැව්වේ?" කාන්තාව පෙරළා ප්‍රශ්න කළේ විමතියෙනි.

"එහෙනං ඇන්ටි දුර එද්දී අම්මා කිව්වේ ‘අන්න අර බෝම්බෙ අදත් එනවා’ කියල."
පොඩි එකා පිළිතුරු දුන්නේ ය.

නොලිව්වා නං නේද හොඳ?

දිනක් කීර්ති පුවත්පතක පළ කිරීම සඳහා ලිපියක් ලියාගෙන ගොස් එම පුවත්පතේ ප්‍රධාන කර්තෘවරයා හමුවී එම ලිපිය ඔහුට පිළිගැන්වීය. එම ලිපිය පෙරළා බැලූ කතුවරයා කට ඇද කර ගත්තේය.

"පත්තරවලට ලිපි ලියන කොට අනුගමනය කරන සම්මත ක්‍රමයක් තියෙනවා. එහෙම ලිපියකදී කඩදාසියේ එක පැත්තක විතරයි ලියන්නේ. ඔහේ කොළේ දෙපැත්තෙම ලියලනෙ. කරුණාකරලා මේක ආන්න එහෙම නිවැරැදි විදියට ලියාගෙන එන්නකො." කියූ කතුවරයා ලිපිය කීර්ති අතට දුන්නේය.

ඊළඟ සතියේ නැවත එම ලිපිය රැගෙන කීර්ති කර්තෘ තුමා ඉදිරියේ පෙනී සිටියේය.

"ඔන්න සර් කියාපු විදියටම ලිපිය, කොළේ එක පැත්තක විතරක් ලියා ගෙන ආවා."

ලිපිය අතට ගෙන පුටුවේ හරිබරි ගැහී, එය කියවා බැලූ කතුවරයා අවඥායෙන් කට ඇද කොට මෙසේ කීවේය.

"මේක කොළේ එක පැත්තක වත් නොලිව්වා නං තමයි වැඩිය හොඳ."

හැමදාම ඇඳුම් මැදීම

හවස් යාමයේ තම පෙම්වතිය නිලන්ති සමඟ මුහුදු වෙරළට ගිය කරූ, එහි ගලක් මත වාඩිවී, තමා සමීපයේ සිටින ඇය සමඟ පෙම් බස් දොඩවන්නට වූවේය.

අල්ලාප සල්ලාපය මැද ඔහු, ඇයට මෙසේ කීවේය.

"ඔයා දන්නවද බබෝ වැඩක්. මම හැමදාම ඇඳුම් ගොඩාක් මදිනවා."

"ඇයි අනේ ඔයා ඔය තරම් ඇඳුම් පොඩි කර ගන්නේ, හරියට පොඩි බබෙක් වගේ?" නිලන්ති තොදොල් වෙමින් ඇසුවේ කරූට තවත් තුරුළු වෙමිනි.

"නෑ ළමයෝ, මම වැඩ කරන්නේ ලොන්ඩරියක." කරූ, පණුවන් කෑ දත් දෙපෙළ පෙන්වමින් සිනාසුණේය.

පැන්සල වෙනුවට පෑන

එක් සවස් වරුවක සිල්වා දොස්තර මහතා තම ඩිස්පෙන්සරියේ ලෙඩුන් පරීක්‍ෂා කරමින් සිටිද්දී දුරකථනය නාද වන්නට විය. දොස්තර මහතා ලෙඩකු පරීක්‍ෂා කරන අතරතුරේම රිසීවරය කනේ තබා ගත්තේය.

ඒ කථා කළේ දොස්තර සිල්වා තම පවුලේ වෛද්‍යවරයා ලෙස සැලකූ හිතවත් කාන්තාවකි.

"හලෝ, ඩොක්ටර් සිල්වා. මම මිසිස් ගජනායක. බලන්නකො ඩොක්ටර් වුණ වැඩක හැටි. අපේ පුතා, මේ දැන්, මම ලිය ලියා හිටපු පැන්සල ගිල්ලනෙ. අනේ මම දැන් කරන්නේ මොකක්ද ඩොක්ටර්?" ගජනායක මහත්මිය ඉතා නොඉවසිල්ලෙන් කියනවා ඇසුණි.

"ඩිස්පෙන්සරියේ ලෙඩ්ඩු පිරිලා, මිසිස් ගජනායක. මෙතනින් නිදහස් වෙන්න, මට අඩුම ගණනේ පැය දෙකක් වත් යාවි. මේ ලෙඩ්ඩු ටික බලලා මම පුළුවන් තරම් ඉක්මනට ඇවිත් පුතා ගිලපු පැන්සල අරගෙන දෙන්නම්. එතකං පෑන පාවිච්චි කරන්න පුළුවන් නේද?" සිල්වා දොස්තර මහතා පිළිතුරු දුන්නේය.