Wednesday, June 16, 2010

හීනෙන් දුන්න රුපියල් දාහ...

වසන්තා උදේ නැගිටින කොට සාජන් මහත්තයා වැඩට යන්න යුනිෆෝම් එක ඇද ගෙනත් ඉවරයි. වසන්තා, සාජන් මහත්තයා ළඟට කිට්ටු කරලා කාකි කබායේ නැමී තිබුණු කොලර් එක හදන ගමන් මෙහෙම කිව්වා.

"ඊයේ රෑ ඔයා මට හීනෙන් රුපියල් දාහක් දුන්නා. ඒකෙන් මං ලබපු සන්තෝසෙ ඔයා නැති කරන්නෙ නෑ නේද වස්තුවේ."

"පිස්සුද නෝනෙ, ඔයා ඒ රුපියල් දාහෙන් ඔයාට ඕනෙ එකක් ගන්ඩ." සාජන් මහත්තයා එහෙම කියල තොප්පියත් දාගෙන මාරු වුණා.

පරණම පිස්සා...

තරමක් දුරට සුව වී ඇති රෝගීන් කණ්ඩායමක් තෝරාගෙන, ඔවුන් වෙත රෝහලේ ඇතැම් සරල ක්‍රියාකාරකම් පැවරීමට අංගොඩ මානසික රෝහලේ ප්‍රධාන වෛද්‍යවරයා අදහස් කළේ, එය ඔවුන් ඉක්මනින් සුවපත් කිරීමට ආධාරකයක් කර ගැනීමේ අරමුණිනි.

එවැනි කණ්ඩායමක් තෝරාගත් වෛද්‍යවරයා ඒ කණ්ඩායමට අයත් වූ පැරණිතම රෝගියා දෙස බලා මෙසේ කීය.

"ගුණපාල තමුසෙ තමයි මේ පිස්සන් කොටුවේ වැඩිම කාලයක් හිටපු ලෙඩා."

ගුණපාල වෛද්‍යවරයා දෙස බැලුවේ ඔහුගේ කීම නොපිළිගන්නා බව අඟවමිනි.

"මම වෙන්නෙ කොහොමද? මම එනකොටත් සර් මෙහෙ හිටියනෙ." හේ කීවේය.

පිට අනතුරු...

අජිත් සේවය කළේ පිඟන් භාණ්ඩ නිපදවන කම්හලක ය. ඔහු දිනක් උදෑසන තම කම්හලේ ප්‍රධානියා හමු වී මෙසේ කීය.

“සර් මං ගිය සුමානෙ කසාද බැන්දා. මගේ පඩියෙන් දෙන්නෙකුට ජීවත් වෙන්න අමාරුයි සර්. මගෙ පඩිය ටිකක් වැඩි කරල දෙන්න බැරිද?”

“බොහොම කනගාටුයි. වැඩ පොළෙන් පිට දී වෙන අනතුරු ගැන අපිට වග කියන්ඩ බැහැ.” ප්‍රධානියා පිළිතුරු දුන්නේ ය.

කනගාටු නැද්ද???

තම බිරිඳ මිය ගොස් ටික දිනකට පසු ඇය රක්ෂණය වී සිටි සමාගමට බණ්ඩාර ගියේ එම රක්ෂණ මුදල ලබා ගැනීම පිණිස ය.

“ඔබේ බිරිඳ ගෙ හදිසි මරණය ගැන අහලා අපේ සමාගම බොහෝ ම කනගාටු වුණා” පිළිගැනීමේ නිලධාරිනිය ඔහු පිළිගනිමින් හැඟීම්බරව කීවාය.

“කනගාටු නැද්ද? රක්ෂණය වෙලා මාස දෙකෙන් ලක්ෂයක් ගෙවන්ඩ වුණාම?" බණ්ඩාර පිළිතුරු දුන්නේ ය.