Thursday, June 17, 2010

එලිවේටරය හා ලිෆ්ට් එක...

ඇමෙරිකානුවෙක් එංගලන්තයට ගොස් හෝටල් කාමරයක් වෙන්කරවා ගත්තේය.

ඇමෙරිකානුවා - කොහෙද එලිවේටරය තියෙන්නේ? (ඇමෙරිකාවේ විදුලි සෝපානය හඳුන්වන්නේ ‘එලිවේටර්’ යනුවෙනි)

කළමනාකරු - එලිවේටර්..? එහෙම එකක් මෙහේ නෑනේ.

ඇමෙරිකානුවා - මොනවා..? එතකොට මම කොහොමද 11 වැනි තට්ටුවට නඟින්නේ?

කළමනාකරු - ආ.. අර තියෙන්නේ ලිෆ්ට් එක. ඒකෙන් උඩට නඟින්න.

ඇමෙරිකානුවා - ඒකට කියන්නේ ලිෆ්ට් නෙවෙයි එලිවේටර්.

කළමනාකරු - නෑ.. නෑ.. ඒකට කියන්නේ ලිෆ්ට් එක කියලයි.

මේ සම්බන්ධයෙන් හෝටල් කළමනාකරු සහ ඇමෙරිකන් ජාතිකයා අතර උණුසුම් වාදයක් හට ගත්තේය. අවසානයේදී තදින් කෝප වී සිටි ඇමෙරිකානුවා මෙසේ කීය.

ඇමෙරිකානුවා - හුහ්.. තමුසේ දැනගන්නවා ඔය එලිවේටරය නිර්මාණය කළේත් අපියි. ඒ නිසා ඒකට කියන්නේ එලිවේටර් එක කියලයි.

කළමනාකරු - වෙන්න ඇති.. ඔය ඕන බඩකඩුත්තුවක් හදන්න කාටද බැරි? නමුත් මතක තියාගන්නවා ඉංග්‍රීසි භාෂාව හැදුවේ අපියි. ඒ නිසා ඒකට කියන්නේ ලිෆ්ට් එක කියලයි.

කවුද පිට හීරුවේ...

"මොකද ඔයා ඊයෙ රෑ හීනෙන් මගෙ පිට හීරුවෙ?" රංජනී කට බෙරි කරගෙන, පියදාසගෙන් ඇහැව්වේ පිට අත ගාමින්.

"මොන පිටක් ද? මම හවස ගත්ත සංවර්ධන ලොතරැයි පහක් නෙ ඒ හීරුවේ. පහේම කිසිම දිනුමක් තිබුණෙ නැහැ." පියදාස පිළිතුරු දුන්නේ කේන්තියෙනි.

ඒ සැරේ තාත්තා...

"සර් මෙච්චර වයසට ගිහිල්ලත් කසාදයක් බැන්දේ නැත්තෙ මොකද?" චතුරංග දවසක් දා තම අංශ ප්‍රධානියා වූ අමරසේකර මහතාගෙන් ඇසුවේ හන්දියෙන් ගෙනා බත් පාර්සලය ඔහුට භාර දෙමිනි.

"මම බඳින්ඩ හිටිය හැම කෙල්ලටම අපෙ අම්මා විරුද්ධ වුණා බං." අමරසේකර කීවේ සිනාසෙමිනි.

"ඉතින් අම්මා වගෙ කෙනෙක්ව තෝරා ගත්තා නං ඉවරනෙ." චතුරංග පැවසුවේ මේසය මත වතුර වීදුරුවක් තබමිනි.

"ඒකත් මං කළා බං. ඒ සැරේ ඒ කෙල්ල බඳිනවට අපේ තාත්තා තදින්ම විරුද්ධ වුණා."

අමරසේකර කීවේ මදක් ඉස්සී තිබූ තම බොරු කොණ්ඩය දෑතින්ම සකස් කරමිනි.