Monday, July 5, 2010

චිත්‍රපටය...

එය එක්තරා චිත්‍රපටයක ජවනිකාවක් රූගත කෙරෙන අවස්ථාවකි. එහි ප්‍රධාන චරිතය රඟපෑ නළුවා තරුණ නිළියන් අමාරුවේ දැමීම පිළිබඳ ප්‍රචලිත අයෙක් විය.

චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා ප්‍රධාන නිළිය සහ නළුවා හට රූගත කිරීමට නියමිත අවස්ථාව පහදා දෙමින් සිටියේ ය.

"දැන් තියෙන්නේ ඔයාව ගඟේ ගහගෙන යන සීන් එකක්. ඔයා ගහගෙන යද්දී මෙයා ගඟට පැනලා ඔයාව බේරගන්නවා. ඉතින් ඊට පස්සේ…"

"ඔව් ඊට පස්සේ මාව මෙයාගෙන් බේරගන්නේ කවුද?" නිළිය වහා ඇසුවා ය.

Sunday, July 4, 2010

සිරිබිරිස්...

බල්ලන්ට දෙන විස්කෝතු...

සිල්ලර කඩයක මුදලාලි කවුන්ටරය ඉදිරිපිට වාඩි වී පුවත්පතක් බලමින් සිටියේ ය. මද්දහන පසු වෙමින් පැවති වේලාව වූ බැවින් දෝ පාරිභෝගිකයෝ කිසිවෙක් කඩයේ නොවූහ.

කවුන්ටරය අසලට පැමිණි පාරිභෝගිකයෙක් මදක් නතරව, කඩයේ රාක්ක තුළ අසුරා ඇති වෙළෙඳ භාණ්ඩ දෙස විමසුම් දෑසින් බලා මුදලාලි ගෙන් මෙසේ ඇසීය.

"මුදලාලි බල්ලන්ට දෙන විස්කෝතු මෙහෙ තියනවද?"

මුදලාලි කියවමින් සිටි පුවත්පතින් දෑස් ඉවත් කර උත්තර දෙමින් පෙරළා මෙසේ විමසීය.

"ඔව් තියෙනවා. දැන් කන්ඩද ගෙදර ගෙනියන්ඩද?"

Saturday, July 3, 2010

ක්ෂණික ප්‍රතිඵල...

"තමුසේ ගිය සුමානෙ පත්තරේ දැන්වීමක් දානවයි කිව්වා නේද? ඇත්තටම අයිසෙ, ඔය දැන්වීම්වලින් ප්‍රයෝජනයක් තියෙනවද?" සුමනවීර තම අසල්වැසි ව්‍යාපාරික ජයසේකර ගෙන් ඇසීය.

"ඇයි නැත්තෙ? බොහොම ඉක්මන් ප්‍රතිඵල දැන්වීම්වලින් ලැබෙනවා. මම පෙරේදා මුරකාරයෙක් ඉල්ලලා පත්තරේ දැන්වීමක් දැම්මා. ඊයෙ රෑ හොරු සාප්පුව කඩලා..." ජයසේකර කීය.

ඔව්වට එන්න එපා...

පාරේ ගමන් කරමින් සිටි ප්‍රේමදාස කුඩයක් ඉහළා ගෙන පැද්දෙමින් ලතාවකට ඇවිද යන තරුණිය පසු කරන ගමන් මෙසේ කීය.

"නංගි අද හරි අව්වයි නේද?"
තරුණිය කටකාරියකි. ඈ තරුණයා අපහසු තත්වයට පත් කරන අදහසින් රළු මුහුණක් පෙන්වා මෙසේ කීය.

"මේ... ඔව්වට විතරක් එන්න එපා මාත් එක්ක. තේරුණා ද?"

"නෑ නෑ නංගි වරදවල තේරුම් ගන්න එපා. අනිත් එව්වාවලට පස්සෙ එන්නම්..."කී ප්‍රේමදාස යන්නට ගියේ ය.

විශේෂ උපහාරය...

දවසක් දා කන්ද උඩ බංගලාවේ ගුණවර්ධන හාමු තම මෙහෙකරු ජෝන් අමතා මෙසේ කීවේ ය.

"ජෝන් උඹ අපි ළඟ අවුරුදු විසි පහක් බොහොම අවංකව ඒ වගේ ම කීකරුව වැඩ කරලා තියෙනවා. ඒ හින්දා මම තීරණය කළා ඒ වෙනුවෙන් උඹට විශේෂ සැලකීමක් කරන්ඩ..."

"අනේ ඒක නං ලොකු උදව්වක් සර්. ඉතින් මොකද්ද ඔය සැලකීම?" ජෝන් නොඉසිලිමත්ව ඇසුවේ තම හාම්පුතා ඉදිරියේ දෙකට නැවෙමිනි.

"අපි හැමෝම මීට පස්සෙ උඹට කතා කරන්නෙ මිස්ටර් ජෝන් කියල..." ගුණවර්ධන හාමු කීය.