Thursday, July 8, 2010

කාර් එක...

සැමියා අලුත් ම මෝටර් රථයක් මිලට ගත්තේ ය. රථය රැගෙන වෙළෙඳපළට යෑමට ඔහු ගේ බිරිඳට වූයේ බලවත් ආසාවකි. එහෙත් බිරිඳ අලුත් ම මෝටර් රථය ධාවනය කිරීම පිළිබඳව සැමියා කිසිදු කැමැත්තක් නො දැක්වීය. දිනක් බිරිඳ සුපුරුදු ලෙස ම ඇගේ ඉල්ලීම ඉදිරිපත් කළාය.

බිරිඳ - “අනේ මට අද වත් කාර් එක ඩ්‍රයිව් කරන්න දෙන්න කෝ”

සැමියා - “බෑ... මම සැරයක් කිව්වා නේ”

බිරිඳ - “ඔයාට මාවද ලොකු කාර් එක ද ලොකු?”

සැමියා - “මට කවදත් ලොකු වුණේ ඔයා නේ”

බිරිඳ - “එහෙනං ඇයි මට කාර් එක නො දෙන්නේ?”

සැමියා - “... ඔයාට තියෙන ආදරේ නිසා. බලන්න ඔයා කාර් එක එළවන්න ගිහිං ඇක්සිඩන්ට් එකක් වුණොත් මොකද වෙන්නේ?”

බිරිඳ - ඒක තමයි මම කිව්වේ ඔයාට මට වඩා ලොකු කාර් එකයි කියලා”

සැමියා - “නෑ.. නෑ.. ඇක්සිඩන්ට් එකක් වුණොත් පොලීසිය ඔයාගේ ඩ්‍රයිවින් ලයිෂන් අරගෙන ඒ විස්තර පොලිස් පොතේ ලියා ගන්නවා. ඊට පස්සේ ඒ විස්තරේ පත්තරේටත් වැටෙනවා නේ.

බිරිඳ - “ඉතිං?”

සැමියා - “ඉතිං කියන්නේ.. ඔයාට තේරෙන්නේ නැද්ද.. එතකොට ඔයා ගේ නියම වයස හැමෝම දැන ගන්නවනේ..”

බිරිඳ - “අනේ ඩාලිං ඔයා නං මට ඇත්තටම ආදරේ බව අද හොඳටම දැන ගත්තා”

සැමියා අලුත් ම මෝටර් රථය හා බිරිඳ ගේ ආදරය යන දෙකම රැක ගත්තේ එසේ ය.

පියසීලි...

පියසෝමට පියසීලි මුණ ගැසුණේ අගනුවරදීය.

දැන හැඳින ටික දිනකින් පියසීලි විවාහ කර ගන්නට කැමැත්ත පළ කළ පියසෝම ඇය සමඟ තම මාමා ගේ නිවසට ගියේ, විවාහය පිළිබඳව ඔහුට දන්වා අනුමැතිය ලබා ගන්නා අදහසිනි.


පියසීලි දුටු පියසෝම ගේ මාමා ඇස් උඩ හිඳුවා, නළල රැළි ගන්වා පියසෝම දෙස බැලුවේ බලවත් විමතියකිනි. සීමාවක් නොමැති ඇගේ විරූපී බව දැක කෝපයට පත් හෙතෙම, පියසෝම පසෙකට කැඳවා රහසින් නමුත් කෝපයෙන් මෙසේ කියන්නට විය.


"කොහෙන්ද ගොනෝ මේ දරහෑව උඹ හොයා ගත්තේ? දත් ඇන්ද කෙහෙල් ඇවරියක් වගෙ එළියට පැනලා. ඇස් දෙක හොඳටෝම වපරයි. බොම්බාය දිහා බැලුවාම පේන්නෙ කල්කටාව. ඒ මදිවට බෙරි තොල යටින් රැවුල් ගස් ඇදිලා. මෙහෙම ගෑනියෙක් ගන්ඩ උඹට ඔල්මාදෙ ද හැබෑට?"


"ඔච්චර හෙමිහිට, රහසේ කථා කරන්ඩ ඕනෙ නෑ මාමේ. පියසීලිගෙ කන් ඇහෙනවත් හොරයි." පියසෝම බයාදු අයුරින් හිනාවී කීවේය.

මටත් ඕකම තමයි...

ඔන්න දවසක් පොරවල් දෙකක් ටවුන් එකේ පාරක් දිගේ ඇවිදගෙන යනවලු. දෙන්න හොඳ යාළුවොලු. ඇතින් ඉස්සරහට ගෑණු දෙන්නෙකුත් එනව පේනවලු.
ඒ බව දැක්ක ගමන් එක පොරක් කඩාගෙන බිඳගෙන පාරෙ අයිනෙ තිබුණ හෝටලයක් ඇතුලට ගිහින් පස්සෙ දොරෙන් පිටවෙලා හැංගුණා ලු.

මෙන්න බොලේ බැලින්නං අනිත් පොරත් දුවගෙන එනවලු හෝ ගාල.

"මචං මාර වැඩේ නේ තව පොඩ්ඩෙන් වෙන්නෙ, මගෙ ගෑනියි හොර ගෑනියි දෙන්න එකට එනව දැක්ක අපි ඉස්සරහට ඒකයි මං හැංගුනේ" මුලින්ම දුවපු පොර කිව්වලු.

"මටත් ඕකම තමයි මචෝ වෙන්න ගියේ.. ..!!!" ඒ අනිත් එකා කිව්වලු.

Wednesday, July 7, 2010

මා උස්සා කැලේ...

මගීන් නංවා ගැනීම පිණිස නවතා තිබූ බස් රථය වෙත පැමිණි රූපා, රියැදුරු අසුනේ වාඩිවී, සිගරැට්ටුවක් උරමින් සිටි ගැටයා ගෙන් මෙසේ ඇසුවාය.

“මා උස්සා කැලේ’ට යන්ඩ පුළුවන් ද?”

රූපා ගේ කේසාන්තයේ සිට පාදාන්තය දක්වා කෑදර බැල්මක් හෙළූ ගැටයා මෙසේ පිළිතුරු දුන්නේය.

‘කැලේ යන්ඩ ඕනෙ නෑ. අපි රෙස්ට් හවුස් එහෙකට යමු.’

කන් බිහිරි වීම...

දුර ගමනක් යමින් සිටි චාලී අතරමඟ රිය නතර කෙළේ ඉන්ධන පුරවා ගැනීමට ය. ඒ අතර ඔහු ගේ බිරිඳ නැන්සි ඉන්ධන පිරවුම් හළේ වූ වෙළෙඳසලකට ගියාය. රිය පණ ගන්වා ගත් චාලී වේගයෙන් එය ධාවනය කරමින් සැතපුම් කිහිපයක් ඉදිරියට ගමන් කෙළේය.

මේ අතර ඔහු පසුපසින් හඹා ආ පොලිස් මුර සංචාරක රථයක් මඟ අවහිර වන සේ නතර කෙළේ ය. ඉන් බැස ගත් පොලිස් නිලධාරියෙක් චාලී සමීපයට පැමිණියේ ය.

පොලිස් නිලධාරියා - මහත්තයා දන්නැද්ද ඔයා ගේ නෝනාව පෙට්‍රල් ෂෙඩ් එකේ දාලා ඇවිත් තියෙන බව.


චාලී - දෙයියන්ට ස්තූති වෙච්චාවේ. ඒත් මං හිතුවා උන් හිටි ගමන් මගේ කන් බීරි වුණේ කොහොමද කියලා.

ඔය ඇති...

පාර අයිනේ නැවතී කතා කරමින් සිටි තරුණ යුවළක් කුලී රථයක් නවත්වා එයට ගොඩ නැඟුණේ ය. තරුණ යුවළගේ් මඟ පෙන්වීමට අනුව ටික දුරක් ඉදිරියට ගිය රථය එක්වරම නැවතුණි.

”මොකද නැවැත්තුවේ?” තරුණිය රියැදුරාගෙන් ඇසුවේය.

”ඇයි නෝනා කිව්වේ, ‘ඔය ඇති, ඔතනින් නවත්තන්න.’ කියලා.” රියැදුරා පිළිතුරු දුන්නේය.

”තමුසෙ යනවා. ඒ කිව්වේ තමුසෙට නෙමෙයි.” තරුණිය, තරුණයා දෙස රවා බලමින් කීවාය