දෙන්නම බීරි...

Tuesday, April 19, 2011 0 ප්‍රතිචාර
දවසක් රජබිසව අන්දරේට කියනවා " අන්දරේ උඹනම් හැමදාම මාලිගාවට එනවා උඹේ මායියා කවදාවත් ඇවිත් නෑ නේද? හෙට එනකොට ඇයත් එක්ක එන්න ඕනෑ තේරුණාද?"
එතකොට අන්දරේ
"දේවියනි ඇය එක්ක එන්න නම් බැරියැ ඇගේ කන් ඇහෙනවා මදිනෙව බොහෝම සද්දෙන් කතාකරන්න පුළුවන්නම් මම ඇය එක්ක එන්නම්"

"ඒගැන මම බලාගන්නම් උඹැහැ එක්ක වරෙන්කො"

ඉන්පස්සෙ අන්දරේ ගෙදර ගෙහුන් බිරිදට මොනවද කියන්නෙ
"උඹව බලන්න කැමත්තෙන් ඉන්නවා බිසවුන් වහන්සේ හැබැයි එතුමියගෙ කන් ඇහෙනවනම් අඩුයි ටිකක් හයියෙන් කතා කරන්ට ඕනෑ"
බිරිඳත් හා කියලා කිව්වා

කොහොමින් කොහොම හරි පහුවදා අන්දරේ රජවාසලට යනකොට මායියාවත් එක්කන් ගියා. අන්දරේගෙ භාරියාව දැක්ක බිසව
"හා..........කොහෝ......මද........සැප......සා........නී.........ප" යැයි සද්දෙන් ඇහුවා.

"හා.......නේ............දෙයියෝ............බුදුවන්ට.....වරදක්..........නෑ................."

කන් ඇහෙන්නැති නිසා සද්දෙන් කතාකරනවා ඇති කියලා දෙන්නම හිතුවා. ටිකෙන් ටික සද්දෙ වැඩිකරමින් කරන මේ කතාව කාලගෝට්ටියක් වගේ මුළු මාලිගාවටම ඇහුනා. රජතුමාද පැමිණ මේ පුදුමය බලා හිනා නොවීසිටියත් අන්දරේ හිනාව නවත්තගන්න බැරිව අත් දෙකින් මූණ ව‍හගෙන ඉන්නවා.

ටික වෙලාවක් ගියාට පස්සෙ දෙන්නා තේරුම් ගත්තා මේක අන්දරේගෙ වැඩක් බව. ලජ්ජාවට පත්වුණු බිසවුන් වහන්සෙ මාලිගය ඇතුලට ගියා. අන්දරේගෙ බිසව තරහෙන් බැණ බැණ ගෙදරගියා.

පස්සෙ රාජකාරි අහවර වෙලා අන්දරේ හවස ගෙදරගියා කියමුකො. තමා ලජ්ජාවට පත් කල නිසා කීපවිඩක් කතාකලත් මායියා ගෙදර දොර ඇරියෙ නෑ. ‍අන්දරේ මේකට හොද උපායක් කල්පනා කොරා. පස්සෙ මොකද කරන්නෙ විශාල ගලක් ඔසවාගෙන ඇවිත් ගේපිටිපස්සෙ තියෙන ලිඳට දැම්මා. ඒ සද්දෙ ඇහුනු අන්දරේගෙ බිරිඳ හිතුවෙ අන්‍දරේ ලිඳට පැන්නා කියලා ඉක්මණට දොර ඇරගෙන ලිඳ ලඟට ගියා. මේ අතර අන්දරෙ ‍ගෙට පැනලා දොර වහගත්තා. දොර ඇරියෙ පහුවදා පාන්දරලු.

0 ප්‍රතිචාර:

Post a Comment

දාන්න බලන්න බොක්ක කූල් වෙන ප්‍රතිචාරයක්...