Monday, January 17, 2011

දරු දෙක මොක...

මැදපෙරදිග රැකියාවකට ගොස්‌ සිටි කාන්තාවක්‌ වසර පහකට පසු ආපසු පැමිණියාය.නිවෙසට පැමිණි විගසම ඇය සිය දරු දෙදෙනා ගැන සැමියාගෙන් විමසුවේ මෙසේය.
"දරු දෙක මොක....."

බිරියගේ මේ අණ්‌ඩර දෙමළ භාෂාව ඇසීමෙන් සැමියා අන්දුන් කුන්දුන් විය.

ඉන් පසු කුස්‌සියේ තිබුණු කොස්‌ ගෙඩියක්‌ දුටු ඇය "මේ බොල් බොල් මොක" කියා සැමියාගෙන් ඇසුවාය.

අමුතු භාෂාව ඇසීමෙන් සැමියා මහත්සේ කෝපයට පත්විය.

"මේ කෙටි කාලෙට මේකිට සිංහලත් අමතක වෙලා" ඔහු තමාටම කියා ගත්තේය.

"ෂර්ට්‌ එක ඉරිල. මොක........" ඇය යළිත් සිය අප්‍රභංශ භාෂාව පටන් ගත්තාය.ඔහුගේ කෝපයේ රතු ඉර පැන්නේය.

ඇගේ කෙස්‌ වැටියෙන් අල්ලා ගත් ඔහු ඇයට පහර කීපයක්‌ ගැසුවාය.

ඒ සමඟම ඇය "බුදු මාමේ... මෙන්න මාව මරන්න හදනවෝ..... මාව බේරා ගනියෝ........." යනුවෙන් යටි ගිරියෙන් කෑ ගසමින් අසල පිහිටි සිය ඥතියකුගේ නිවස කරා දිව ගියාය.

ඒ එයා පොඩි කාලේ!!!

විදේශීය සංචාරකයෙක්‌ එක්‌තරා රටක කෞතුකාගාරයක්‌ නැරඹීමට ගියේය.

එහි ප්‍රදර්ශනයට තබා තිබුණු හිස්‌ කබලක්‌ දුටු සංචාරකයා එහි සිටි නිලධාරියෙකුගෙන් මෙසේ ඇසුවේය.

"මේ හිස්‌කබල කාගේද?"

"ඒක අපේ රටේ නිදහස වෙනුවෙන් සටන් කළ වීරයෙකුගේ."

එයට මඳක්‌ ඔබ්බෙන් තවත් කුඩා හිස්‌ කබලක්‌ තිබෙනු දුටු සංචාරකයා එය කාගේ හිස්‌ කබල දැයි නිලධාරියාගෙන් ඇසුවේය.

"ඒක එයා පොඩි කාලේ." නිලධාරියා පිළිතුරු දුන්නේය.

Saturday, January 15, 2011

උපදේශයට පන්සීයයි!

හොරු දෙදෙනෙක්‌ එක්‌තරා පාළු ස්‌ථානයකට වී කතා බස්‌ කරමින් සිටියහ.

"ඊයේ වැඩෙන් නම් මට පාඩු වුණා.." එක්‌ හොරෙක්‌ අනෙකාට පැවැසීය.

"ඒ කොහොමද?"

"මම ඊයෙ පැන්නෙ නීතිඥවරයෙකුගෙ ගෙදරට. මම මිනිහගෙ අතටම අහුවුණා."

"ඊට පස්‌සෙ මොකද වුණේ?"

"මොකුත් වුණේ නැහැ. එයා මට තදින් අවවාද කළා නීතිඥවරුන්ගෙ ගෙවල්වලට මීට පස්‌සෙ පනින්න එපා කියලා."

"ඉතින් වෙච්ච පාඩුව මොකක්‌ද?"

"ඒ දුන්නු අවවාදයට කියල රුපියල් පන්සීයක්‌ මගෙන් අය කළා."
ඔහු දුක්‌මුසු ස්‌වරූපයෙන් එසේ පැවසීය.

ඔව් සර්..

පුරා සතියක් කිසිම දැනුම් දීමකින් තොරව සේවයට නොපැමිණි සුගත් ඊළඟ සතියේ සඳුදා රාජකාරියට වාර්තා කළ වහාම නියෝජ්‍ය කොමසාරිස් කරුණාරත්න මහතා ඔහු තමා වෙත කැඳවා මෙසේ ඇසීය.
“තමුසෙ දන්නවද තමුසෙ මෙතන සුළු සේවකයෙක් කියල?”

“ඔව් සර්..” සුගත් යටහත් පහත්ව පිළිතුරු දුන්නේය.

“එතකොට තමුසෙ දන්නවද මම මෙතන ප්‍රධානියෙක් කියල?”

“ඔව් සර්..” එවර සුගත් දෙකට නැමී කීවේය.

“තමුසෙ හිතාගෙන ඉන්නෙ මං බූරුවෙක් කියලද” කරුණාරත්න මහතා එවර ඇසුවේ තරමක ආවේගයකිනි.

“ඔව් සර්..” සුගත් බයාදු ලෙස සිනාවී පිළිතුරු දුන්නේය.

කතාකරන්නෙ කොහොමද?

“අනේ මහත්තයො අර විසිතුනේ ඇදේ ලෙඩාට දැන් කොහොමද?” පපුවේ අමාරුවක් සෑදී ඊට පෙර දින හතරේ වාට්ටුවට ඇතුළු කළ තම සැමියා බැලීමට පැමිණි කුසුම් විවේක කාමරයේ අසුන් ගෙන සිටි වෛද්‍යවරයා වෙත ගොස් ඔහුගේ මුහුණට
එබෙමින් ඇසුවාය.

“ආ.. එයාට දැන් හුඟක් සනීපයි. ඒත් ඒ ලෙඩා කිසිම කතාබහක් නැහැ. ඒ ගැනයි අපි දැන් පරීක්ෂා කරගෙන යන්නෙ.” දොස්තර මහතා කාරුණිකව පිළිතුරු දුන්නේය.

“කතා කරන්නෙ කොහොමද මහත්තයො. අපේ මනුස්සයා උප්පත්තියෙන්ම ගොළුවෙක් නොවැ” කුසුම් කීවේ දත් තිස්දෙකම පෙන්නා සිනාසෙමිනි.

බලන් ඉන්ඩ බෑ...

“මට ඔය අසාධාරණ, අසමජ්ජාති වැඩ පේන්ඩ බෑ.” චන්ද්‍රසේන කීවේ තම සගයින් සමඟ කාර්යාලයේදී දිවා ආහාරය ගනිමින් සිටියදීය.

“දවසක් දා මං බස් එකේ යද්දි හදිස්සියෙම දැක්කා ගැටකපන්නෙක් බස් එකේ යන කෙනෙකුගෙ පොකට් එකට විදිනවා. මට ඒක බලන් ඉන්ඩ බැරුව ගියා..” ඔහු බලවත් ආවේගයකින් කීවේය.

“උඹ ඉතින් මොනවද කළේ?” වීරකෝන් ඇසුවේ ආහාර අනුභවය මඳකට නවතමිනි.

“ඉතින් මං අහක බලා ගත්තා” බත් කටක් අනුභව කරමින් චන්ද්‍රසේන කීවේය.