Tuesday, April 19, 2011

ගොනාවගේ ඉදින්...

අන්දරේගෙ ගෙදර දවසක් මංගල උත්සවයක් තිබුණා. අන්දරේ ටිකක් නාහෙට අහන්නැති මනුස්සයනෙ. ඉතිං අන්දරේගෙ අම්මා මොකද කරන්නෙ එදා උදේ අන්දරේට කතා කරලා "පුතේ වෙනද වගේ දග කරන්නැතිව අද ගොනා වගේ ඉන්ට ඕන හරිද" කියලා කිව්වා.
අන්දරෙත් "හොදයි අම්මෙ මම අම්මා කිව් විධිහට ඉන්නම්" කියලා අම්මගෙ අවවාදෙ පිළිගත්තා. ඉතිං ටික වෙලාවක් ගියාට පස්සෙ උත්සවයට ‍ගමේ මිනිස්සු නෑ හිත මිතුරන් එහෙම ගෙදරට ආවයි කියමුකො. අන්දරේ මොකද කරන්නෙ හතරපයින් ගේ හැමතැනම දුවනවා තප්පුලනවා ඒ විතරක් නම් මැදෑ ඉන්න මිනිස්සුන්ටත් ඔළුවෙන් අනිනවා. මේක දැක්ක අන්දරේගෙ අම්මා හරි අපහසුතාවයකට තමයි පත්වුනෙ.

"මෙහෙ වර මම කිවුවා නේද උඹට දග නරන්නැතුව ඉන්න කියලා ඇයි පුතේ අපට මෙහෙම වද දෙන්නෙ"
කියලා අම්මා අන්දරේට පොඩි සද්දයක් දැම්මා.

අන්දරෙත් අතෑරියෙ නෑ
"ඇයි අම්මෙ අම්මමනෙ මට ගොනා වගේ ඉන්ට කිව්වෙ ඉතිං ගොනා ඉන්නෙ එහෙමනෙ අම්මෙ"

"හා එහෙමද ‍එහෙනම් මේ ගොනා බැදපියව්"කියලා අන්දරේගෙ අම්මා කිව්වා.

කුමරියගෙ ලස්සන...

දවසක් රජතුමාගේ දියණිය රං කලයකට වතුර පුරවා උකුලේ තබාගෙන රජමාලිගයට එනවා දැක්ක අන්දරේ කව්යකින් ඇයට මෙහෙම කිව්වා.

කටකොට කලේ දිය උකුලේ තබා ගෙන
ලොටතන දෙකක් රෙදි කඩකින් වසා ගෙන
තඹ පිත්තල වලින් අභරණ පැලද ගෙන
රොඩී කෙල්ල කොහි යනවද උදෑ සන

මේක ඇහුන කුමරියට හොදටම තරහා ගියා. පස්සෙ කුමරිය මොකද කරන්නෙ තමා රොඩීකෙල්ලක් යැයි කියා අන්දරේ අපහාස කල බවට රජතුමාට පැමිණිලි කලා. රජතුමත් වහාම රාජ පුරුෂයන් යවලා අන්දරේ ගෙන්නගෙන කුමරිට අපහාස කලේ ඇයිද කියලා හරි කේන්තියෙන් අන්දරේගෙන් ඇහුවා.

අන්දරේ රජතුමාට වැදලා එ‍හෙම

"අනේ දේවයන් වහන්ස මේවගේ ලස්සන රාජ කන්‍යාවක් මම රොඩී කෙල්ලක් යැයි ‍කියන්නෙ කොහොමද? මම එතුමියගෙ ගුණ හා ලස්සන වර්ණනා කලා මිස වෙන යමක් නොකීවෙමි"

"මම එය කවියකින් කීවෙමි එතුමියට එය තේරුම් ගැනීමට නොහැකිවූවා සේ පෙනෙයි දැන් ඔබ ඉදිරියෙහිදී වුවත් මට ඒ කවිය කිය හැකිය එහි වරදක් ඇද්දයි ඔබතුමාම බැලුව මැනව"

කී අන්දරේ පෙරකී කවිය වෙනස් කර මෙහෙම කිව්වා.

රං රං කලේ දිය උකුලේ තබා ගෙන
රං කුඹු දෙකක් සළු පටකින් වසා ගෙන
රිදිත් රත්තරං දෙවගේ පැලද ගෙන
මල්මද බිසව කොහි යනවද උදෑ සන

මේක ඇහුව රජතුමා බොහෝම සතුටුවෙලා තෑගි බෝග එහමත් දීලා තමයි අන්දරේ පිටත් කොලේ ඕං......

දෙන්නම බීරි...

දවසක් රජබිසව අන්දරේට කියනවා " අන්දරේ උඹනම් හැමදාම මාලිගාවට එනවා උඹේ මායියා කවදාවත් ඇවිත් නෑ නේද? හෙට එනකොට ඇයත් එක්ක එන්න ඕනෑ තේරුණාද?"
එතකොට අන්දරේ
"දේවියනි ඇය එක්ක එන්න නම් බැරියැ ඇගේ කන් ඇහෙනවා මදිනෙව බොහෝම සද්දෙන් කතාකරන්න පුළුවන්නම් මම ඇය එක්ක එන්නම්"

"ඒගැන මම බලාගන්නම් උඹැහැ එක්ක වරෙන්කො"

ඉන්පස්සෙ අන්දරේ ගෙදර ගෙහුන් බිරිදට මොනවද කියන්නෙ
"උඹව බලන්න කැමත්තෙන් ඉන්නවා බිසවුන් වහන්සේ හැබැයි එතුමියගෙ කන් ඇහෙනවනම් අඩුයි ටිකක් හයියෙන් කතා කරන්ට ඕනෑ"
බිරිඳත් හා කියලා කිව්වා

කොහොමින් කොහොම හරි පහුවදා අන්දරේ රජවාසලට යනකොට මායියාවත් එක්කන් ගියා. අන්දරේගෙ භාරියාව දැක්ක බිසව
"හා..........කොහෝ......මද........සැප......සා........නී.........ප" යැයි සද්දෙන් ඇහුවා.

"හා.......නේ............දෙයියෝ............බුදුවන්ට.....වරදක්..........නෑ................."

කන් ඇහෙන්නැති නිසා සද්දෙන් කතාකරනවා ඇති කියලා දෙන්නම හිතුවා. ටිකෙන් ටික සද්දෙ වැඩිකරමින් කරන මේ කතාව කාලගෝට්ටියක් වගේ මුළු මාලිගාවටම ඇහුනා. රජතුමාද පැමිණ මේ පුදුමය බලා හිනා නොවීසිටියත් අන්දරේ හිනාව නවත්තගන්න බැරිව අත් දෙකින් මූණ ව‍හගෙන ඉන්නවා.

ටික වෙලාවක් ගියාට පස්සෙ දෙන්නා තේරුම් ගත්තා මේක අන්දරේගෙ වැඩක් බව. ලජ්ජාවට පත්වුණු බිසවුන් වහන්සෙ මාලිගය ඇතුලට ගියා. අන්දරේගෙ බිසව තරහෙන් බැණ බැණ ගෙදරගියා.

පස්සෙ රාජකාරි අහවර වෙලා අන්දරේ හවස ගෙදරගියා කියමුකො. තමා ලජ්ජාවට පත් කල නිසා කීපවිඩක් කතාකලත් මායියා ගෙදර දොර ඇරියෙ නෑ. ‍අන්දරේ මේකට හොද උපායක් කල්පනා කොරා. පස්සෙ මොකද කරන්නෙ විශාල ගලක් ඔසවාගෙන ඇවිත් ගේපිටිපස්සෙ තියෙන ලිඳට දැම්මා. ඒ සද්දෙ ඇහුනු අන්දරේගෙ බිරිඳ හිතුවෙ අන්‍දරේ ලිඳට පැන්නා කියලා ඉක්මණට දොර ඇරගෙන ලිඳ ලඟට ගියා. මේ අතර අන්දරෙ ‍ගෙට පැනලා දොර වහගත්තා. දොර ඇරියෙ පහුවදා පාන්දරලු.

වම්බටු...

අන්දරේ රජතුමා සමඟ ගමනක් යමින් සිටියේ වම්බොටු වගාවක් අසළිනි.
"වම්බොටු කොහොමද?" රජතුමා ඇසීය.

"රජ කෑමක් රජතුමනි" යැයි අන්දරේ කීය.

දෙසතියකට පසු අන්දරේ යළිත් වතාවක් රජතුමා සමඟ එම වම්බොටු වගාව පසුකර යමින් සිටියේ ය.

"තුඃ නොදකින් ජරා කෑම" රජතුමා කීය.

අන්දරේ එකපැහැර කීයේ ඇත්ත, බලූ කෑමක් රජතුමනි කියා ය.

ඇයි යෝදයෝ දෙසතියකට කලින් කිව්වේ රජ කෑමක් කියා නේද යැයි රජතුමා වික්ෂිප්තව විමසීය.

සිනාසුනු අන්දරේ මෙහෙම කිව්වලු.

"මම සේවය කරන්නේ වම්බොටුවලට නොවෙයි, රජජතුමාට නේ"

රජතුමාගේ බිසව...

අන්දරේට රජතුමාගේ බිසව ගැන හිතක් ඇතිවිය. මේ ගැන රජතුමාට ඇඟුනි. අන්දරේ හැරේන්නේ පොල් පැලේට බව රජතුමා දුරතියාම හඳුන ගත්තේය.

දිනක් රජතුමා අන්දරේට කතාකොට

රජතුමා, ” හොඳයි අන්දරේ, හැබැයි උඹ පොඩි පරීක්ෂනයකින් සමත් වෙන්න ඕන.”

අන්දරේ ඊට එකඟ විය.

මුලුතැන් ගෙට ගිහින් විවිධ ද්‍රව්‍ය වලින් හැදූ බාජන කීපයක් ගෙනෙන ලෙස රජු අන්දරේට නියම කලේය.
අන්දරේ රාජකීය මුලුතැන් ගෙට ගොස් වීදුරු,ලී, මැටි, රන්, රිදී, තඹ, ලෝකඩ, පිත්තල ආදියෙන් සෑදූ බාජන කීපයක් ගෙනාවේය.

ඒවා බිම තබා ඊට වතුර පුරවන ලෙස රජු නියම කලේය.

“දැන් අන්දරේ හැම එකෙන්ම ටික ටික බීලා මොන රසද කියාපන්”.

“රජතුමනි, කිසි වෙනසක් නැහැ. හැම එකේම තියෙන්නෙ වතුර”.

“ඒක තමයි අන්දරේ, ඔය කොයි …භාජනෙත්…….. එකයි. වෙනස තියෙන්නෙ පාටෙයි, හැඩෙයි.
ඒ නිසා මගේ මගුල් පොකුනෙන් වතුර බොන්න දඟලලා මගෙන් මැරුම් කන්නෙ නැතිව ගෙදර ගිහින් උඹේ ලිඳෙන් බීපිය”. කියලා අන්දරේ එලවා ගත්තේය.