Sunday, August 8, 2010

සතුට හා සමාදානය

ඩග්ලස් සහ පියතිස්ස අමාත්‍යාංශය වෙත යමින් සිටියේ රාජකාරී කටයුත්තකටය.

"ඉතින් පියතිස්ස මහත්තයා කොහොමද ජීවිතේ කාරිය?" ඩග්ලස් ඇසීය.

"වරදක් නැහැ මිස්ටර් ඩග්ලස්. නෝනයි මායි සතුටෙන් සමාදානෙන් ජීවත් වෙනවා. ඔය ඉඳලා හිටලා තරහක් ගියාම නෝනා අතට අහුවෙන මැටි කෝප්පෙකින්, වලදකින් දමලා ගහනවා.
ඒ වුණාට අපි සතුටෙන් තමයි ජීවත් වෙන්නේ." පියතිස්ස කීවේය.

"දෙයියෝ සාක්කි! හැලිවලංවලින් ගහගෙනත් කොහොමද සතුටෙන් සමාදානෙන් ජීවත් වෙන්නෙ?" ඩග්ලස් ඇසුවේ ඔළුවේ අතගසා ගනිමිනි.

"මේකනෙ කාරණේ. එහෙම ගහන පාරක් මට වැදුණොත් නෝනා සතුටු වෙනවා. ඒ පාර මට වැදුණේ නැත්තං මම සතුටු වෙනවා."
පියතිස්ස කීවේ සිනාසෙමිනි.

දිවීමේ තරගය

රන් කුසලානයක් අතැතිව, හති දමමින් දුව ආ සුගත් වහා ගෙට රිංගා කඩිමුඩියේ ම දොර වසා එහි අගුලු දැමීය. ඒ සද්ද යට ඉස්තෝප්පුවට ආ ඔහුගේ බිරිඳ ඩල්සි, විශ්මයෙන් මුව අයා මෙසේ කීවාය.

"හරි ෂෝක් අනේ... කොහෙන්ද ඔයාට මේ කප් එක හම්බවුණේ?"

"මම රේස් එකෙන් පළවැනියට ආවා." පුටුවක් මත වැතිරී සිටි සුගත් කීවේ හතිදමමිනි.

"මරු... ඉතින් කවුද අනේ දෙවැනියට, තුන්වැනියට ආවේ?" ඩල්සි නැවතත් ඇසුවාය.

"පොලිස්කාරයා දෙවැනියා. කප් එක අයිතිකාරයා තුන්වැනියා." සුගත් පිළිතුරු දුන්නේ දොර දෙස බලමිනි.